Posted on 12.05.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ධම්මික බණ්ඩාර නැමැත්තා විසින් සොයාගන්නා ලද පැවසෙන කොවිඩ් වෛරසය නසන ඖෂධයට යොදාගෙන ඇතැයි ඔහු සඳහන් කරන සාදික්කා උනා හෝ ඒ ආශ්රිත රෝග සඳහා බාවිත කරන්නක් නොවන බව ආයුර්වේද විශේෂඥ වෛද්‍ය නන්ද විජේරත්න පවසයි. ඔහු පවසන්නේ සාදික්කා රූපලාවන්‍ය නිෂ්පාදනයට සහ සුවඳ විලවුන් සඳහා යොදාගන්නක් බවයි. ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරයා පවසන්නේ කොවිඩ් වෛරසයට තවමත් බෙහෙතක් සොයාගෙන නොමැති නිසා ආර්ථික වාසි බලාපොරොත්තුවෙන් විවිධ පුද්ගලයන් ඒ අවස්ථාව පවිච්චි කරමින් සිටින බවයි.
ආයුර්වේද විශේෂඥ වෛද්‍ය නන්ද විජේරත්න වැඩිදුරටත් පැවසුවේ,
“කොවිඩ් වෛරසයට ගොදුරුවෙන අය කොහොමත් හොඳ වෙනවා. වයසක උදවිය වැනි දුර්වල අය මැරෙනවා. ඇගේ ප්‍රතිශක්තිය තියෙනවනම් ලෙඩේ හොඳ වෙනවා. මේ කියන මනුස්සයා පාරම්පරික වෛද්‍යවරයෙක් හෝ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරයෙක් නෙමෙයි. දැන් සමහරු කියනවා පූසා මැටියෙන් උනත් කමක් නෑ මීයො අල්ලනවනම් කියලා. නමුත් මීයො අල්ලන්නෙ නෑනෙ. මෙම පුද්ගලයා බෙහෙත් වට්ටෝරුව කියන්නෙත් නැහැ. මී පැණියි, සාදික්කායි ගැන කියනවා. නමුත් සාදික්කා කියන්නෙ ආයුර්වේද වෛද්‍ය ක්රමයේ උණට හෝ ඒ ආශ්රිත රෝගවලට දෙන එකක් නෙමෙයි. සුදු ලූනු, ඉඟුරු, කොත්තමල්ලි කිව්වනම් විශ්වාස කරන්න තිබුණා. සාදික්කා රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා සුවඳ විලවුන් නිෂ්පාදනයට නම් යොදාගන්නවා. මී පැණි නම් හොඳ ආහාරයක් සහ ඖෂධයක්. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව දියුණු ඉන්දියාවේත් කොවිඩ්වලින් මිනිස්සු මැරෙනවා. මම ආයුර්වේද වෛද්‍යවරයෙක් වුණත් අපේ අඩුපාඩු මම දන්නවා. නිකම් මනුස්සයෙක් බෙහෙතක් දෙනවනම් දෙන්නෙ මොනවද කියලා අපි දැනගන්න ඕනා. මේ මනුස්සය පිටිපස්සෙ ආර්ථික වාසි බලාගෙන මේක කරන කෙනෙක් ඉන්න බව පේනවා. ඒකයි මෙච්චර උගත් පළපුරුදු වෛද්‍යවරු ඉන්න රටේ නිකම් මනුස්සයෙක් ඇවිත් බෙහෙතක් හොයාගත්තා කියන්නෙ. මෙතන ගසා කෑමක් සිද්ධ වෙන්න ගියෙ. මේ පැණිය ගැන ආයුර්වේද වෛද්‍යවරු කැඳවලා ඇහුවනම් අපි මතය කියනවා. ඉසෙල්ලා මේ වගේ ජනප්‍රිය වුණු පැණි ගැන දැන් කතාවක් නැහැ. ඒ පැණිවලින් කෝටි ගානක් හම්බකරගත්ත එකයි වුණේ. මෙහෙම කොවිඩ්වලට පැණියක් තියෙනවනම් ලෝකෙටම දෙන්න පුළුවන්නේ. කොවිඩ්වලට බෙහෙතක් නැතිවීම හරහා රික්තකයක් ආවා. එක එක පණ්ඩිතයෝ ඒක පාවිච්චි කරන්න හදනවා. මේක බෙහෙතකුත් නෙමෙයි, කෑමක්. පිටරට යැව්වත් මේක හඳුන්වන්නෙ food supplement එකක් විදිහට. “