தமிழ்
English
Contact
Wednesday 1st May 2019    
ගිං-නිල්වලා ගංඟාවල ජලය, චීන සමාගම්වලට ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගිං-නිල්වලා ගංඟාවල ජලය, චීන සමාගම්වලට !



චීන සමාගම් ගණනාවක් විසින් හම්බන්තොට ප‍්‍රදේශයේ සිදු කරන සංවර්ධන ව්‍යාපෘතිවලට ප‍්‍රධාන අභියෝගය වී ඇත්තේ ජල පහසුකම් ප‍්‍රමාණවත් පරිදි ලබාගැනීමට නොහැකි වීම ය. ඒ සඳහා පිළියමක් ලෙස උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කළ ද ඉන් බලාපොරොත්තු වූ ජල ධාරිතාව ලබාගැනීමට නොහැකි වීම හේතුවෙන් වෙනත් ජල ව්‍යාපෘති මගින් වැඩි ජල ප‍්‍රමාණයක් හම්බන්තොට සංවර්ධන කලාපයට ලබාගැනීමට රජය විසින් තීරණය කර ඇත. ඒ සඳහා ගිං-නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර හම්බන්තොට ජලය ලබාගැනීමට යෝජනා වී ඇත. හම්බන්තොට සංවර්ධන කලාපයේ ජල අවශ්‍යතාවය සපුරාලීම ප‍්‍රධාන ඉලක්කය කර ගෙන සිදුකෙරෙන මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ගිං හා නිල්වලා ගංඟා ද්‍රෝණිවල ජීවත්වන ජනතාවගේ ජල අයිතීන් උල්ලංඝනය වීම හා ඔවුන් ජල අර්බුදවලට ගොදුරු වීම පිළිබඳ ව කිසිඳු සලකා බැලීමකින් තොර ව මෙම ව්‍යාපෘතිය සැලසුම් කර තිබීම නිසා ගැටලු ගණනාවක් මතුවෙමින් තිබේ.

හම්බන්තොට ප‍්‍රදේශයේ ඇති ස්වාභාවික සම්පත්වලට දරාගත නොහැකි අයුරින් ප‍්‍රදේශයේ ජීවත්වන සුළු පරිමාණ නිෂ්පාදකයින්ට කිසිඳු ප‍්‍රතිලාභයක් හිමි නොවන ලෙස ඔවුන් බලපෑමට ලක් කරමින් ජනතාවගෙන් ව්‍යුක්ත වූ සංවර්ධන ව්‍යාපෘති පමණක් ක‍්‍රියාත්මක කිරීමට මේ වනවිට රජය සැලසුම් කර ඇත. ඊට අමතර ව පසුගිය රජය විසින් ක‍්‍රියාත්මක කළසංවර්ධන ව්‍යාපෘති රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්ව ක‍්‍රමවේදයයටතේ චීන සමාගම්වලට දීර්ඝකාලීන බදු පදනම යටතේ වත්මන් රජය ලබා දෙමින් තිබේ. එසේ ලබා දෙන සියලු ව්‍යාපෘතිවලට ජලය ඇතුළු යටිතල පහසුකම් ලබාදීමට රජය බැඳී සිටී. ඒ සඳහා සැලසුම් සකස් කිරීමේ දී ජනතාව අනාථයින් බවට පත් වීමපිළිබඳව සිතා බැලීමට රජය අපොහොසත් වී ඇත.

හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘති

මේ වනවිට හම්බන්තොට, මාගම්පුර වරාය China Merchants Port Holdings සමාගමට රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ දීර්ඝකාලීන බදු පදනම මත 2017 ජුලි මස 29 වන දින ගිවිසුම් අත්සන් කර ලබා දී තිබේ. මෙම වරාය සඳහා දිනකට විශාල ජල ධාරිතාවක් ගිං-නිල්වලා ගංඟාවලින් ලබා ගැනීමට අවශ්‍ය ව ඇත. හම්බන්තොට, මාගම්පුර වරායට සමාන්තරව කර්මාන්ත පුරයක් ස්ථාපිත කිරීමටද සැලසුම් කර තිබේ. ඒ සඳහා වන කැබිනට් අනුමැතිය 2018 ජුනි මස 05 වන දින ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව ලබා දී තිබේ. ඒ අනුව චීන රජයේ සහයෝගය ඇති ව විශේෂ ආර්ථික කලාපයක් හම්බන්තොට හා මොනරාගල ස්ථාපිත කිරීමටත් ඒ සඳහා චයිනා හාබර් ඉංජිනේරු සමාගම නම් කිරීම ද සිදුකර ඇත. මේ අනුව ශ‍්‍රී ලංකා – චීන සැපයුම් සහ කර්මාන්ත කලාපය අදියර තුනකින් ස්ථාපිත කිරීමට නියමිත ය. ඊට අවශ්‍ය ඉඩම් මේ වනවිට හඳුනාගෙන තිබේ. හම්බන්තොට, ගොන්නෝරුව පාර හා බුරුතංකන්ද අතර වනාන්තර සහ අඩි සියය පාර ආශ‍්‍රිතව වලව වම් ඉවුර යටත් සංවර්ධනය කළ කලාපයේ ඉඩම් අක්කර 5000ක් පමණ ලබාගැනීමට නියමිත ය. මීට අමතර ව මොණරාගල දිස්ත්‍රික්කයේ, බුත්තල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රහතන්ගම හා වැල්ලවාය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කුඩා ඔය ග‍්‍රාම නිලධාරි වසම් දෙකට අයත් රණවරුනාව වැව හා දෙමලිය වැව ඇතුළුව මෙම වැව්වල ජල පෝෂක ප‍්‍රදේශ ආවරණය වන පරිදි වනාන්තර අක්කර 5000ක් චීන සමාගම්වලට ලබාදීමට නියමිත ය. මෙම සියලු වනාන්තර කිරිදි ඔය, ලුණුගම්වෙහෙර ජලාශය හා වෙහෙරගල ජලාශයේ ජල පෝෂක ප‍්‍රදේශ වේ. මීට අමතර ව සෙවණගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට අයත් වලව ගෙඟ් ජල පෝෂක වනාන්තර අක්කර 5000ක් පමණ චීන සමාගම්වලට ලබාදීමට මේ වනවිට මැනීම් කර ඇත. මේ සියලු ප‍්‍රදේශවල ඉදි කෙරෙන කර්මාන්ත කලාප සඳහා ගිං – නිල්වලා ගංඟාවල ජලය ලබාදීමට සූදානම් වේ.

හම්බන්තොට ඉදි කෙරෙන කර්මාන්ත කලාපයට විදුලිය සැපයීම සඳහා මෙගාවොට් 400ක ස්වාභාවික වායු විදුලි බලාගාරයක් ඉදි කිරීමට, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් ඉදිරිපත් කළකැබිනට් පත‍්‍රිකාව 2017 නොවැම්බර් 07 වන දින අනුමත කර තිබේ. ඒ සඳහා චීන රජය විසින් China Machinery Engineering පුද්ගලික සමාගම නම් කර තිබේ. මේ සඳහා ද දිනකට විශාල ජල ප‍්‍රමාණයක් ගිං – නිල්වලා ගංඟා වලින් ලබාදීමට යෝජිත ව තිබේ.

හම්බන්තොට, මත්තල ගුවන්තොටුපොළ රාජ්‍ය – පෞද්ගලික හවුල් ව්‍යාපාර ආකෘතිය යටතේ ඉන්දියානු සමාගමකට ලබාදීමට නියමිත ය. ඒ සඳහා වන කැබිනට් පත‍්‍රිකාව ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා 2017 අගෝස්තු මස 09 වන දින කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව ගුවන්තොටුපොළට සමාන්තරව ගුවන්යානා නඩත්තු කිරීමේ හා පියාසර පාසල් ඇති කිරීමට ද නියමිත ය. ඒ සඳහා ද යටිතල පහසුකම් වශයෙන් විශාල ජල ප‍්‍රමාණයක් ලබාදීමට සිදු වේ. ඒ සඳහා ද ගිං – නිල්වලා ගංඟාවල ජලය ලබාගැනීමට නියමිතව ඇත.

කේන්ද්‍රගත සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස ඒ සඳහා අවශ්‍ය වන යටිතල පහසුකම් ලබාදීමට ප‍්‍රදේශ ගණනාවක ජලය ඇතුළු ස්වාභාවික සම්පත් ඒ සඳහා ගොදුරු කිරීමට සිදු වේ. ඒ හේතුවෙන් ජනතාවට ජලය, කෘෂිකාර්මික බිම් හා ජන දිවිය අහිමි වන අතර බොහෝ පරිසර පද්ධති ප‍්‍රමාණයක් අවතැන් කිරීම ද සිදු වේ. එපමණක් නොව කේන්ද්‍රගත සංවර්ධනව්‍යාපෘති වලට යටිතල පහසුකම් සැපයීම සඳහා ක‍්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් බොහෝ ජනතාවක් අවතැන් වේ.

ව්‍යාපෘතියේ අවශ්‍යතාව

ගිං – නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතියට අදාළ මුලික ශක්‍යතා ඇගයිම් වාර්තා හා කැබිනට් මණ්ඩල තීරණවලට අදාළ කැබිනට් පත‍්‍රිකා අධ්‍යයනය කිරීමේ දී පෙනී යන්නේ ප‍්‍රධාන අරමුණු කිහිපයක් සඳහා මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරන බව ය. මාතර හා හම්බන්තොට දිස්ත‍්‍රික්ක දෙකෙහි ප‍්‍රදේශ ගණනාවකට පානීය ජලය සැපයීම, හම්බන්තොට, වරාය, ගුවන්තොටුපොළ හා වාණිජ කර්මාන්ත කලාපයට ජලය සැපයීම සහ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ හෙක්ටයාර 8500ක නව වගා බිම් සඳහා යල හා මහ දෙකන්නයේ වගා කිරීමට වාරි ජලය සැපයීම ප‍්‍රධාන අරමුණු වී ඇත. මීට අමතර ව හම්බන්තොට ප‍්‍රදේශයේ සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීම ද තවත් එක් අරමුණුක් ලෙස මුලික ශක්‍යතා ඇගයීම් වාර්තාවේ දක්වා තිබේ.

නමුත් ගිං – නිල්වලා ගංඟා ද්‍රෝණිවලජීවත් වන ජනතාවට අවබෝධ කර දී ඇත්තේ නිරිත දිග මෝසම් සුළං මගින් අධික වර්ෂාව හිමි වන කාලයට සිදුවන ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා එම ගංඟාවල ජලය හම්බන්තොට ප‍්‍රදේශයට හරවා යවන බව කි. ඒ මගින් එම ප‍්‍රදේශවල ජනතාවට අවබෝධ කර දී ඇත්තේ වර්ෂා කාලයේ දී පමණක් අතිරික්ත ජලය හම්බන්තොට ට හරවා යවන බව ය. නමුත් මෙම ජලය හරවා යැවීමේ ව්‍යාපෘතියේ ස්වභාවය හා අරමුණු අනුව පැහැදිලි වන්නේ වසර මුළුල්ලේ ම ගිං හා නිල්වලා ගංඟාවල ජලය හම්බන්තොට ප‍්‍රදේශයට හරවා යවන බව යි. ඒ නිසා වර්තමානයේ දී ද පායන කාලයේ දී දැඩි ජල හිඟයකට පත්වන ගිං හා නිල්වලා ගංඟා ද්‍රෝණිවල ජනතාවට උග‍්‍ර ජල හිඟයකට මුහුණදීමට මෙම ව්‍යාපෘතියත් සමග ම සිදුවනු ඇත.

යෝජිත ව්‍යාපෘතිය වර්තමානයට යෝග්‍ය වේ ද?

1936 වසරේ දී පළමු ව අධ්‍යයනය කළ ගිං – නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතිය අද දින ඒ ආකාරයට ම හම්බන්තොට සංවර්ධන ප‍්‍රදේශයට ජලය ලබාගැනීමේ අරමුණින් ක‍්‍රියාත්මක කිරීමෙන් බොහෝ ජනතාවක් අවතැන් වනු ඇත. සිංහරාජයේ දකුණු ප‍්‍රදේශයෙන් ආරම්භ වන ගිං ගඟ තවලම, නෙළුව හා අගලිය ප‍්‍රදේශ හරහා ගලා ගොස් ගිං තොටින් මුහුදට එක් වේ. ගිං ගඟෙහි සමස්ත ගංඟා ද්‍රෝණිය වර්ග කිලෝමීටර 932ක් පමණ වන අතර දිගින් කිලෝමීටර 113ක් වන ගංඟාවකි. මෙම ගංඟාවෙන් වාර්ෂිකව මුහුදට ගෙන යන ජල ධාරිතාවය ඝන මීටර මිලියන 1268ක් පමණි. ගිං ගෙඟ් ජල පෝෂක ප‍්‍රදේශවලට වාර්ෂිකව මිලිමීටර 3290ක පමණ වර්ෂාපතනයක් හිමි වේ.

නිල්වලා ගඟ දෙනියාය කඳුවැටියකින් ආරම්භ වන අතර දිගින් කිලෝමීටර 72ක් පමණ වෙයි. මෙහි ගංඟා ද්‍රෝණිය වර්ග කිලෝමීටර 922ක් පමණ වන අතර වාර්ෂික ව මෙම ප‍්‍රදේශයට මිලිමීටර 2890ක පමණ වර්ෂාපතනයක් හිමි වේ. විශේෂයෙන් නිල්වලා ගෙඟ් ඉහළ ජල පෝෂක ප‍්‍රදේශයට වාර්ෂිකව මිලිමීටර 4500 පමණ වර්ෂාපතනයක් ලැබෙන අතර මෙම ගංඟාවෙන් මුහුදට ගෙන යන ජල ධාරිතාවය ඝනමීටර මිලියන 1152ක් පමණ වේ.

අද වනවිට ගිං හා නිල්වලා ගංඟාවල ජල පෝෂක තෙත් වනාන්තර ප‍්‍රදේශ බොහෝමයක් එළිපෙහෙළි කර පහතරට තේ වගා කර ඇති නිසා මේ වනවිට ඉතිරිව ඇත්තේ හුදෙකලා වූ ජල පෝෂක වනාන්තර කුට්ටි කිහිපයක් පමණි. මේ නිසා මෙම ගංඟා ද්‍රෝණිවල ජලය වර්ෂා කාලයේ දී භූගතවීමේ යාන්ත‍්‍රණය ඉතා ම හොඳින් ක‍්‍රියාත්මක නොවේ. වර්ෂා කාලයේ දී මතුපිටින් ගලා යන ජලය සීග‍්‍රයෙන් ගංඟාවලට එක්වන අතර කෙටිකාලීනව ගංවතුර තත්ත්වයන් ඇති කර නියං කාලවල දී නිරාවරණය වූ පසෙහි හා ජල මූලාශ‍්‍රවලින් සීග‍්‍රයෙන් ජලය වාෂ්පීකරණය වීම නිසා ජල උල්පත් සීග‍්‍රයෙන් සිඳී යයි. මේ නිසා පායන කාලවලදී මේ ප‍්‍රදේශය උග‍්‍ර ජල හිඟයකට මුහුණ දේ. මීට අමතරව අද වනවිට වර්ෂාව පැතිරුම් කාලය අඩු වී ඇති නිසා නියං සමය වර්ධනය වී තිබේ. මේ නිසා ජල හිඟයක් ඇති වන කාලසීමාව දීර්ඝ වී ඇත. මේ නිසා ම පායන කාලයේ දී මේ ප‍්‍රදේශයේ ජනතාවට පානීය ජල ප‍්‍රශ්නය හා තේ වගාවන්ට ජලය ප‍්‍රමාණවක් නොවීම නිසා වගාබිම් විනාශ වීම හා තේ දළු අස්වැන්න අඩුවීම ඇතුළු ගැටලු ගණනක්මතුව තිබේ. එසේ තිබිය දී ගිං හා නිල්වලා ගංඟාවල ජලය හම්බන්තොට ට වසර මුළුල්ලේ ම හරවා යැවීම හේතුවෙන් ගැටලු බොහෝමයකට ගිං හා නිල්වලා ගංඟා ද්‍රෝණිවල ජීවත් වන ජනතාවට මුහුණ දීමට සිදු වේ. ඒ හේතුවෙන් ඒ ප‍්‍රදේශයේ තේ ආර්ථිකය ද සම්පූර්ණයෙන් ම බිඳ වැටෙනු ඇත. මෙවන් තත්ත්වයන් ඇති කරමින් හම්බන්තොට නව සංවර්ධන ව්‍යාපෘතිසඳහා ජනතාව හා පරිසරය අවතැන් කරමින් ජලය ලබාගැනීම යුක්ති සාධාරණ නොමැත.

යෝජිත ව්‍යාපෘතිය චීන සමාගමකට

පසුගිය රජය පැවැති සමයේ 2009 වසරේ සිට 2014 වසර අවසානය දක්වා කාලය තුළ ගිං – නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතියට අදාළ භූ විමර්ශන හා මිනුම් කටයුතු සිදුකළ අතර එය චීන සමාගමක් මගින් සිදු කෙරින. නමුත් වත්මන් රජය බලයට පත් වූ පසුව සවිස්තරාත්මක ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් සකස් කිරීමට China CAMC Engineeringසමාගමට ලබා දී ඇත. මෙය ලැදියාවන් අතර ගැටුම් (Conflict of interest) ඇති කරන තත්ත්වයකි. ඊට හේතුව චීන සමාගම් ගණනාවක් මගින් හම්බන්තොට ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක කරන ව්‍යාපෘති සඳහා අවශ්‍ය යටිතල පහසුකමක් වන ජලය ලබාගැනීමට අවශ්‍ය ශක්‍යතා ඇගයීම චීන සමාගමක් මගින් ම සිදුකිරීම හා ඉදිකිරීම් සඳහා වන ණය ලබා දීම ද චීන බැංකුවක් මගින් ම සිදුකිරීම ය. මෙම සමාගම්වලට මෙරට ජනතාවගේ ජල අයිතිය හෝ මෙරට ජනතාවගේ ජල ප‍්‍රශ්නය පිළිබඳ ව ගැටලුවක් නොමැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ ව්‍යාපාර හා ව්‍යාපෘති සාර්ථක කරගැනීම සඳහා උපරිම ව ජල මූලාශ‍්‍ර භාවිතා කිරීමට ය. ණය ලබාදෙන බැංකුවලට අවශ්‍ය වන්නේ ණය ලබා දී පොළිය හා ණය මුදල නැවත අයකර ගැනීමට ය. මෙහිදී කිසිඳු ආයතනයකට ජනතාවගේ අයිතීන් පිළිබඳ සොයාබැලීමට කිසිඳු වුවමනාවක් නොමැත. එය තවදුරටත් තහවුරු වන්නේ අදාළ චීන සමාගමට ශක්‍යතා අධ්‍යයනය සිදුකිරීමට ලබා දී ඇත්තේ භූ විමර්ශන, මිනුම් හා සැලසුම් ඇතුළත්ව වාර්තාවක් ඉදිරිපත් කිරීමටය. ඒ තුළ කිසිඳු ආකාරයක සමාජ, ආර්ථික, පාරිසරික ශක්‍යතාවකන් අධ්‍යයනය කරන බවක් පෙනෙන්නට නොමැත. මෙය ප‍්‍රධාන ගැටලුවකි. උමා ඔය ව්‍යාපෘතියේ ද සිදුවුයේ මේ තත්ත්වයයි. ඒ නිසා ම එම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ම බිඳ වැටීම සිදුවිය. මේ ආකාරයෙන් කටයුතු සිදු වුවහොත් ගිං – නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතියට ද උමා ඔය ව්‍යාපෘතියට අත් වූ ඛේදනීය ඉරණම ම අත්වීමට ඉඩ ඇත.

විශේෂයෙන් අප චීනය සමග ගණු දෙණු කිරීමේ දී අවධානය යොමු කළ යුතු ප‍්‍රධාන කරුණක් වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් නොමැති, අයිතීන් පිළිබඳ තැකීමක් නොකරන චීනය වැනි රටක ණය යටතේ ක‍්‍රියාත්මක වන ව්‍යාපෘතිවල ජනතාවාදී ප‍්‍රකාශනයක් හෝ සමාජ, ආර්ථික හා පාරිසරික අයිතීන් පිළිබඳ සලකා බැලීමක් හෝ බලාපොරොත්තුවක් විය නොහැකි වන බව ය.

මීට අමතර ව චීන සමාගම් හා ණය ලබාදෙන ආයතනවල හැසිරීම හඳුනාගැනීමට ඇති හොඳම උදාහරණය රාජාංගනය ජල ව්‍යාපෘතියයි. රාජාංගනය වැව යටතේ ගොවි පවුල් 35000ක් පමණ අක්කර 22500ක ගොවි බිම් වගා කරන අතර එම වැවෙන් ජලය ලබාගෙන සිදුකරන ව්‍යාපෘතියක් සඳහා චීන සංවර්ධන බැංකුවෙන් ණය ලබාදෙන අතර එහි කොන්ත‍්‍රාත්කරු ලෙස China National Aero-technology international corporation, China geo engineering corporation යන සමාගම් ක්‍රියා කරයි. මෙම ඉදිකිරීම් සිදු කරන චීන සමාගම් හා ණය ලබාදෙන චීන සංවර්ධන බැංකුව රාජාංගනය වැව යටතේ වගා කරන ගොවීන්ගේ ජල අයිතිය පිළිබඳ ව හෝ ඔවුන් පරම්පරා ගණනාවක් මෙම වැව යටතේ ජීවත්වෙමින් ගොඩනඟාගත් ජන දිවිය පිළිබඳ ව හෝ අවධානයකින් තොර ව මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරති. යම් සංවර්ධන ව්‍යාපෘතියක් මගින් මෙරට ජනතාවගේ අයිතීන් අහිමි වීම පිළිබඳ ව හෝ සමාජ-ආර්ථික තත්ත්වයන් හි බිඳවැටීම පිළිබඳ ව හෝ චීන සමාගම්වලට ගැටලුවක් නොමැත.

එලෙස පූර්වාදර්ශ බොහෝමයක් තිබිය දී ගිං-නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතිය චීන සමාගමකට අධ්‍යයන කටයුතු සඳහා භාර දීම හා ඒ මත පදනම්ව මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම මගින් විශාල ජනතාවක් ඍජුව හා වක‍්‍ර ව සංවර්ධන අනාථයින් බවට පත් වනු ඇත.

ව්‍යාපෘතියේ අක‍්‍රමිකතා

පසුගිය රජය පැවැති සමයේ 2014 වසරේ දී ගිං – නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 696 ක පිරිවැයක් යටතේ ක‍්‍රියාත්මක කිරීමට ඉංජිනේරු, ප‍්‍රසම්පදන හා ඉදිකිරීම් කොන්ත‍්‍රාත්තුව චීන සමාගමක් වෙත ලබා දී තිබේ. නමුත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා චීන අපනයන හා ආනයන බැංකුව සමඟ වන ණය ගිවිසුම අවසන් කර නොතිබුනි. එසේ තිබියදී වත්මන් රජය බලයට පත්වීමට ප‍්‍රථම 2015 ජනවාරි 01 වන දා සිට 2015 ජනවාරි 07 වන දින දක්වා මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 3549 ක මුදලක් මෙම ව්‍යාපෘතිය සඳහා නිදහස් කර ඇත. මූල්‍ය වර්ෂයක් ආරම්භයේ දී මෙවැනි විශාල ගෙවීමක් සිදු කිරීම අසාමාන්‍ය තත්ත්වයක් නිසා මේ පිළිබඳ සොයාබැලීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) වෙත බාරදීමට 2017 ජනවාරි 24 වන දින අමාත්‍ය මණ්ඩල නිර්දේශය ලැබී තිබේ. නමුත් තවම මේ පිළිබඳ පරීක්‍ෂා කර කිසිඳු වර්තාවක් ප‍්‍රකාශයට පත්කර නොමැති අතර ගිං – නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතියේ නාමයෙන් සිදුකර ඇති මූල්‍ය වංචාවන් පිළිබඳ ව කිසිඳු පරීක්‍ෂාණයක් මේ වනතුරුත් සිදුකර නොමැත.

එසේ තිබිය දී වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරු කිහිපදෙනෙකු මෙම ව්‍යාපෘතිය තවත් ආකාරයකින් දඩමීමා කර ගෙන මුදල් ඉපයීමට සූදානම් වේ. මෙම ව්‍යාපෘතිය ලබා දීමට ඩොලර් මිලියන තිහක මුදලක් ඇමතිවරු දෙදෙනෙකු විසින් විදේශීය සමාගමකින් ඉල්ලා සිටින බව ද වාර්තා වේ. මේ අනුව පෙනී යන්නේ සංවර්ධන ව්‍යාපෘති නාමයෙන් මෙරට තුළ විවිධ ව්‍යාපෘති ජනතාව මුලා කරමින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරන්නේ සැබෑ සංවර්ධනය සඳහා ද එසේ නොමැතිනම් ඇමතිවරුන්ගේ යැපීම සඳහා ද යන්න ජනතාව ඉතාම හොඳින් අවබෝධ කර ගත යුතු ය.

ගිංගග – නිල්වලා ගග ආශ්‍රිතව සිදු කෙරෙන යෝජිත ජල ව්‍යාපෘතියේ සිතියමක්

ව්‍යාපෘතියේ ස්වභාවය

යෝජිත ගිං-නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතිය යටතේ මූලික ව සිදුකෙරෙන්නේ පිටදෙණිය, කොටපොළ හා අම්පනාගල ඉදිකෙරෙන වේලි තුනක් මගින් කුඩා ජලාශ තුනක් ඉදිකර උමං කිහිපයක් ඔස්සේ මුරුතවෙළ ජලාශය දක්වා ජලය ගෙන යාම ය. ඉන්පසුව ඇළ මාර්ගයක් ඔස්සේ චන්ද්‍රිකා වැව දක්වා ජලය ගෙන යන අතර එමගින් උඩවලව ජලාශයට ජලය ගෙන යාම සිදු වේ. එහි දී කිරි ඉබ්බන් වැව හා වවුආර පෝෂිත ඇළ දක්වා ජලය පොම්පකර යැවීමට නියමිත ව ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ ගිං ගෙඟ්, සිංහරාජ වනාන්තරය ආශ‍්‍රිත ව ඉදි කෙරෙන පිටදෙණිය ජලාශයේ ජල පැතිරුම් ප‍්‍රදේශය අක්කර 14කි. ගිං ගඟ හරහා මීටර 93ක් දිග හා මීටර 4.5ක් උස වේල්ලක් ඉදිකර පිටදෙණිය ජලාශය ඉදිකරනු ලැබේ. මෙම ජලාශයේ සිට කිලෝමීටර 12.5ක් දිග හා විෂ්කම්භය මීටර 4.3ක් වන උමඟකින් දියදාව වන රක්ෂිතය හරහා නිල්වලා ගඟේ අතු ගංඟාවක් වන කොටපොළ ඔය හරස්කර ඉදිකරන වේල්ලක් මගින් තනන කොටපොළ ජලාශය දක්වා ජලය ගෙන එයි. කොටපොළ ජලාශයේ ජලය පැතිරුම් ප‍්‍රදේශය අක්කර 11ක් පමණ වේ. මෙම ජලාශයේ වේල්ල මීටර 75ක් පමණ දිග වන අතර උස මීටරයකි.

කොටපොළ ජලාශය සිට කිලෝමීටර 5.5ක් පමණ දිග හා විෂ්කම්භය මීටර 4.3ක් වන උමඟකින් නිල්වලා ගෙඟ් අම්පනාගල ප‍්‍රදේශයේ ඉදිකරන ජලාශය දක්වා ජලය ගෙන යනු ලැබේ. අම්පනාගල ජලාශය ඉදි කිරීමට මීටර 143ක් දිග හා මීටර 3ක් උස වේලලක් සකස්කරන අතර ඒ මගින් ගොඩනඟන ජලාශයේ මතුපිට පැතිරුම් ධාරිතාවය අක්කර 5ක් පමණ වේ. අම්පනාගල ජලාශයේ සිට දැනට ක්‍රියාත්මක මුරුතවෙල ජලාශය දක්වා ජලය ගෙන යාම සිදුකරනු ලබන්නේ කිලෝමීටර 12.5ක් දිග විෂ්කම්භය 4.3ක් වන උමඟක් මගිනි. මුරුතවෙල ජලාශයේ සිට කිලෝමීටර 17ක් දිග නව ඇළ මාර්ගයක් මගින් චන්ද්‍රිකා වැව දක්වා ජලය ගෙන යනු ලැබේ. චන්ද්‍රිකා වැවේ සිට ජල පොම්පාගාරයක් හා නල පද්ධතියක් මගින් කිරි ඉබ්බන් වැවේ සිට මවුආර පෝෂිත ඇළ දක්වා ජලය ගෙන යයි.

ගිං-නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතිය මගින් ජලය ලබාගෙන මාතර හා හම්බන්තොට දිස්ත‍්‍රික්ක දෙකෙහි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය 25කට පානීය ජලය සැපයීමට නියමිතව ඇත. ඒ අනුව වාර්ෂිකව පානීය ජලය ඝන මීටර මිලියන 124ක් ලබාදීමට නියමිත ය. මීට අමතර ව වාණිජ කෘෂිකාර්මික බෝග ඇතුළු ව වගා බිම් හෙක්ටයාර 10500කට වාරි ජලය සැපයීමට නියමිත ය. ඒ සඳහා වාර්ෂිකව ජලය ඝනමීටර් මිලියන 117ක් සැපයීමට යෝජිත අතර ඉන් ඝනමීටර් මිලියන 34ක ජල ප‍්‍රමාණයක් ලබාදීමට සූදානම් වන්නේ අලුතින් ඇති කරන වාණිජ වගා බිම් සඳහා ය.

මෙම ව්‍යාපෘතියේ ප‍්‍රධාන අංගය වන්නේ කාර්මික සංවර්ධන ව්‍යාපෘති සඳහා ජලය සැපයීමය. ඒ සඳහා වාර්ෂිකව ජලය ඝනමීටර මිලියන 157ක් සැපයීමට නියමිත බව දැනට සකස් කර ඇති මුලික ශක්‍යතා ඇගයීම් වාර්තාවේ සඳහන් වුව ද වැඩි ජල ධාරිතාවක් මේ සඳහා යොදාගැනීමට නියමිතව ඇති බව දැනට සිදුකෙරෙන සංවර්ධන සැලසුම්වලට අනුව පෙනී යයි.

ව්‍යාපෘතියේ සිදුවන බලපෑම

ගිං-නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතියෙන් සිදුවන බලපෑම් විශාල පරාසයක් පුරා විහිදී තිබේ. මෙහි දී පළමු ව අවදානය යොමු කළ යුතු වන්නේ මෙම ගංඟාවල ජලය හම්බන්තොට ට හරවා යැවීමෙන්ගිං හා නිල්වලා ගංඟා ද්‍රෝණිවල ජීවත් වන ජනතාවගේ ජල අයිතිය අහිමි කිරීම හා දශකගණනාවක් තුළ ගොඩනඟාගත් නිදහස් ජීවන පැවැත්මට බලපෑම් එල්ල කිරීම ය. සංවර්ධනය අයිතියක් වුවද සංවර්ධනය ඇති කිරීම සඳහා ජනතාව අවතැන් කිරීම හෝ ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කිරීමට කිසිඳු අයිතියක් රජයකට නැත. සංවර්ධනයේ නාමයෙන් සමාගම්වල වුවමනාවන් වෙනුවෙන් ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කිරීමට ප‍්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීමට හෝ සංවර්ධනයේ නාමයෙන් සමාගම් කිහිපයකට ප‍්‍රතිලාභ හිමිවන හා ඒ හේතුවෙන් ජනතාව අවතැන් කරන සැලසුම් සකස් කිරීමට ජනතාව විසින් පත් කළ ආණ්ඩුවකට හෝ ජනතාව වෙනුවෙන් ක‍්‍රියාත්මක වන ජනතාවගේ බදු මුදල් වලින් වැටුප් ලබන කිසිදු රාජ්‍ය ආයතනයකට හැකියාව නොමැත. මෙම ව්‍යාපෘති මගින් සිදු කෙරෙන්නේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය උල්ලංඝනය කිරීමකි. එය මෙම ව්‍යාපෘතිය මගින් රටේ ජනතාවට එල්ල කරන ප‍්‍රධාන බලපෑමකි.

මෙම ව්‍යාපෘතිය මගින් ගිං හා නිල්වලා ගංඟා හරස් කර වේලි ඉදිකිරීම හේතුවෙන් වැසි සමයේ දී ඉහළ ප‍්‍රදේශ උග‍්‍ර ගංවතුර තර්ජනයකටත් පායන කාලයේ දී පහළ ප‍්‍රදේශ උග‍්‍ර ජල හිඟයකටත් ලක් වනු ඇත. ගිං ගෙඟ් පිටදෙනිය ප‍්‍රදේශයේ හා නිල්වලා ගඟේ කොටපොල සහ අම්පනාගත ප‍්‍රදේශවල ඉදි කෙරෙන වේලි හේතුවෙන් ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශ ගංවතුර හා ජල හිඟයේ ගොදුරු බවට පත්වනු ඇත. මේ නිසා තේ වගාබිම් ඇතුළු ව ජනාවාස ප‍්‍රදේශ බලපෑමට ලක්වේ. වර්තමානයේ පායන කාලයේ දී ජල හිඟය හේතුවෙන් මෙම ගංඟා ආශ‍්‍රිත ජනතාව පීඩා විඳින අතර තේ වගාබිම්වල ඵලදායීතාවය ද පහළ යෑම සිදු වේ. එසේ තිබිය දී එම ගංඟාවල ජලය හම්බන්තොට සංවර්ධන කලාපයට ජලය ලබාදීමට භාවිතා කිරීමෙන් මේ ජනතාව උග‍්‍ර බලපෑමකට ලක්වනු ඇත.

පාරිසරික හානි හදුනාගැනීම

යෝජිත ජල හැරවුම් ව්‍යාපෘතියට අදාළ ව විශ්කම්භය මීටර 4.3ක් වන සම්පූර්ණ දිග කිලෝමීටර 30ක් පමණ වන ප‍්‍රධාන භූ ගත උමං තුනක් ඉදිකරන අතර එම උමං සම්බන්ධ කිරීම හා සැපයුම් මාර්ග සැකසීම සඳහා තවත් අතිරේකව උමං පද්ධතියක් සකස් කිරීමට යෝජිත ය. මෙම උමං සැකසීම සිදුකරන කලාපයේ බහුලව දැකගත හැකි වන්නේ අවසාධිත හා විපරීත පාෂාණතැන්පතු සහිත ප‍්‍රදේශයන් ය. එපමණක් නොව නිම්න ආශ‍්‍රිත ප‍්‍රදේශ ගණනාවක් හරහා මෙම උමං කැණීමට නියමිත ය. අවසාධිත පාෂාණතැන්පතු හා විපරිත පාෂාණතැන්පතු සහිත කලාපවල උමං කැණීම හේතුවෙන් උමං තුළ ට පාෂාණ ස්ථරවල භූ පැලූම් ඇති වීම හේතුවෙන් ජල කාන්දුවීම සිදුවන අතර භූ ගත ජලය මෙසේ කාන්දු වීම නිසා ජල මූලාශ‍්‍ර සම්පූර්ණ ම සිඳීයාම, ළිං ජලය අහිමි වීම හා වගා බිම් විනාශ වීම වැනි හානිකර තත්ත්වයන් බොහෝමයක් මේ නිසා උද්ගත වනු ඇත.

මේ සඳහා හොඳම පූර්වාදර්ශය සපයන්නේ උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියෙනි. එවන් පූර්වාදර්ශ තිබිය දී තවදුරටත් මෙවන් ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමෙන්විශාල ජනතාවක් සංවර්ධන අනාථයින් බවට පත්වනු ඇත. නමුත් එහි වගකීම භාරගැනීමට කිසිඳු පාර්ශවයක් ඉදිරිපත් නොවේ. අද වනවිට උමා ඔය ව්‍යාපෘතිය යටතේ උමං කැණීම්කළ ප‍්‍රදේශයේ පවුල් 17100ක් පමණ ඍජු ව අවතැන් ව සිටින නමුත් ඔවුන්ට අවශ්‍ය ජලය සැපයීමට හෝ වගාබිම්වලට වන්දි ගෙවීමට හෝ විනාශ වූ දේපොළවලට වන්දි ගෙවීම පමණක් නොව විකල්ප ජීවනෝපායන මාර්ගවලට යොමු කිරීමට පවා රජය අපොහොසත්ව ඇත. ඔවුන් සියල්ලන් ම සංවර්ධන අනාථයින් ලෙස කිසිඳු පිළිසරණක් නොමැතිව අවතැන්ව සිටී. ගිං – නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතිය මගින් ද මෙවන් සංවර්ධන අනාථයින් තවදුරටත් බිහි කිරීමට උත්සහ දරන බවක් පෙනෙන්නට තිබේ. මේ නිසා වැඩි වශයෙන් අනාථ වන්නේ සුළු පරිමාණ ගොවි ජනතාව ය. උමා ඔය ව්‍යාපෘතිය යටතේ සුළු පරිමාණ ගොවීන් අනාථවීම හේතුවෙන් රටට අවශ්‍ය සහල් හා එළවලු විශාල ප‍්‍රමාණයක් වාර්ෂික ව අහිමි වී ඇති අතර ගිං – නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතියෙන් රටට වීදේශ විනිමය ගෙන එන සුළු පරිමාණ තේ ගොවීන් විශාල ප‍්‍රමාණයක් අවතැන් වීම සිදුවනු ඇත.

යෝජිත ජල හැරවුම් ව්‍යාපෘතිය ප‍්‍රධාන වශයෙන් ම සිදු කරන්නේ පහතරට තෙත් කලාපයට හා උප කඳුකර තෙත් කලාපයට අයත් ප‍්‍රදේශ තුළ ය. සිංහරාජ ජාතික උරුම වන රක්‍ෂිත, දියදාව වන රක්‍ෂිතය හා මුලටියන වන රක්‍ෂිතය ආශ‍්‍රිත ව ප‍්‍රධාන වශයෙන් ම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදුකෙරේ. මෙම වනාන්තර ආශ‍්‍රිත ප‍්‍රදේශයේ ජල මුලාශ‍්‍ර හරස්කර ජලය ලබාගැනීම හේතුවෙන් ලංකාවට ආවේණික මිරිදිය මසුන්, මිරිදිය කකුළුවන්, ඉස්සන් හා ගොළුබෙල්ලන් පමණක් නොව ලංකාවට ආවේණික ජලජ ශාකවල පැවැත්මට ද දැඩි බලපෑම් එල්ල වනු ඇත. මෙම ප‍්‍රදේශ ආශ‍්‍රිත ව වඳවීමේ තර්ජනයට දැඩි ලෙස මුහුණ පා ඇති ශාක හා සත්ත්ව විශේෂ බහුල ව වාර්තා වන අතර මෙම ව්‍යාපෘතිය හේතුවෙන් සමහර ජීවි විශේෂ වඳ වීම ද සිදුවිය හැකි ය. දියදාව වන රක්‍ෂිතය යටින් පිටදෙනිය ජලාශයේ සිට කොටපොළ ජලාශය දක්වා ජලය ගෙන යන කිලෝමීටර 12.5ක් දිග භූ ගත උමග ඉදි වන අතර ඒ මගින් මෙම වනාන්තර හා වනාන්තර තුළ ජල මූලාශ‍්‍ර වලට දැඩි අහිතකර බලපෑම් එල්ල වනු ඇත.

අවතැන්වන ජනතාව

යෝජිත ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරෙන ජලාශ සඳහා ඍජු ව වගාබිම් හා ජනාවාස භාවිතා කිරීමට සිදු වේ. මේ හේතුවෙන් ඍජු ව අවතැන් වන ජනතාව නැවත පදිංචි කළ යුතු ය. නමුත් අප රටේ මෑත කාලයේ දී ක‍්‍රියාත්මක කළ කිසිඳු සංවර්ධන ව්‍යාපෘතියක නැවත පදිංචි කිරීම් නිවැරදි ලෙස සිදු නොවුනි. මොරගහකන්ද, කළු ගඟ වාරි ව්‍යාපෘති, උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය, යාන් ඔය වාරි ව්‍යාපෘති යටතේ අවතැන් වූ ජනතාවට සුදුසු ජනාවාස හෝ වගා බිම් ලබා දී අවශ්‍ය යටිතල පහසුකම් ලබාදෙමින් නිවැරදි ලෙස නැවත පදිංචි කර නොමැත. මේ සියලු ව්‍යාපෘති යටතේ අවතැන් වූ ජනතාවගේ අහිමි වූ දේපොළ නිවැරදි ව තක්සේරු කර වන්දි ලබා දීම මෙතෙක් සිදුකර නොමැත. සමහර ව්‍යාපෘතිවල ඉදිකිරීම් කටයුතු අවසන් වීමට ආසන්න මට්ටමේ පැවතිය ද අවතැන් වූ ජනතාව නැවත පදිංචි කළ ප‍්‍රදේශවල අවතැන්ව සිටී. චීන සමාගමක් වන CAMC Engineering පුද්ගලික සමාගම විසින් ක‍්‍රියාත්මක කරන යාන් ඔය වාරි ව්‍යාපෘතිය යටතේ අවතැන් වූ පවුල් 380ක් පමණ තවම නිසි පරිදි නැවත පදිංචි කර නොමැත. ඔවුන් බොහෝමයක් අලි – ඇතුන් ජීවත් වන ප‍්‍රදේශවල පදිංචි කිරීම නිසා අලි – මිනිස් ගැටුමේ ගොදුරක් බවට පත් කර ඇත. මෙවන් පූර්වාදර්ශ පවතිද්දී ගිං – නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතියෙන් අවතැන් වන ජනතාව නිසි පරිදි නැවත පදිංචි කරනු ඇතැයි කිසිඳු අවස්ථාවක විශ්වාස කළ නොහැකි ය.

ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියකින් අවතැන් වන ජනතාව නැවත පදිංචි කළ යුතු වන්නේ ස්වේච්ඡාවෙන් නොවන අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ ප‍්‍රතිපත්තියට අනුව ය. එම ප‍්‍රතිපත්තියේ අඩංගු කරණු 1950 අංක 9 දරන ඉඩම් අත්පත්ගැනීමේ පනතේ 63 (2) (ඊ) උප වගන්තිය අනුව 2009 අප්‍රේල් 07 වන දින අංක 1596/12 දරන ගැසට් නිවේදනය මගින්පළ කර ඇත. එම ගැසට් නිවේදනය අනුව වෙළෙඳපොළ වටිනාකම මත අවතැන් වන ජනතාවගේ සියලු දේපලවලට අදාළ වන්දි තක්සේරු කිරීම, නැවත පදිංචිය ස්ථාපිත වන තුරු අදාළ සියලුම වියදම් දැරීම දක්වා සියලු කරුණු කාරණා ඇතුළත් වේ. නමුත් කිසිඳු ව්‍යාපෘතියක දී මේ කරුණු පිළිබඳ ව අවධානයට ලක් කිරීමක් සිදු නොකෙරේ. මේ නිසා ම සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් අවතැන් වන ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත් වේ.

මේ සියලු කරුණු විශ්ලේෂණය කිරීමෙන් පෙනී යන්නේ චීන සමාගම් පෝෂණය කිරීම සඳහා ක‍්‍රියාත්මක කරන ගිං – නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතිය මගින් පාරිසරික, සමාජයීය හා ජෛව විද්‍යාත්මක අහිතකර බලපෑම් බොහෝමයක් උද්ගත වනු ඇති බව ය. රජය මේ පිළිබඳ අවධානය යොමු නොකර චීන සමාගම් වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය බලහත්කාරයෙන් ක්‍රියාත්මක කළහොත් විශාල ජනතාවක් සංවර්ධන අනාථයින් බවට පත්වීම වළක්වාගත නොහැකි වනු ඇත.

නීති විරෝධී ඇරඹීමට සූදානම් වීම

ගිං – නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතිය චීන සමාගම්වල බලපෑම මත කඩිනමින් ක‍්‍රියාත්මක කරවීමට ආණ්ඩුවේ ප‍්‍රභලයින් කිහිපදෙනෙකුගේ මූලිකත්වයෙන් බලපෑම් ඇති කරමින් සිටී. ඉන් ප‍්‍රධාන වන්නේ තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා හා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ය. පසුගිය දිනවල ජනතාවට සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් සාගල රත්නායක අමාත්‍යවරයා විසින් මෙම ව්‍යාපෘතිය කෙසේ හෝ ක‍්‍රියාත්මක කිරීමට පියවර ගනිමින් සිටින අතරතුර මේ වසරේ සැප්තැම්බර් මුල් සතියේ ජනාධිපතිතුමත් ප‍්‍රකාශ කළේ මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක‍්‍රියාත්මක කිරීමට පියවර ගත යුතු බව ය. නමුත් ජනාධිපතිතුමන්ට අමතක වී ඇත්තේ 2015 ජනාධිපතිවරණයේ දී ජනතාව සමඟ සම්මුතිගත වූ මෛත‍්‍රි පාලනයක් ස්ථාවර රටක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සොබාදහම රැකගැනීම කොටසේ සඳහන් කර ඇති පරිදි සංවර්ධන වැඩසටහන්වල සංකල්පිත අවධියේ දී ම පාරිසරික බලපෑම් පිළිබඳ මුලික ඇගයීම සිදු කර එම ව්‍යාපෘතිය තිරසර සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කළ හැකිවේ ද යන්න පිළිබඳ ව පළමු වඅවබෝධ කර ගත යුතු ය. නමුත් අද වනවිට ජනාධිපතිතුමන්ට මෙය අමතක වී ඇත.

මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට තව ම කිසිඳු ආකාරයක පරිසර බලපෑම් ඇගයීමක් සිදු කර ජනතාවගෙන් අදහස් විමසා නිසි පරිදි අනුමැතිය ලබාගෙන නොමැත. එසේ තිබිය දී මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම කඩිනම් කිරීමට ජනාධිපතිවරයා විසින් බලපෑම් කිරීමෙන් පෙනී යන්නේ රටේ පළමු පුරවැසියා විසින් රටේ පරිසර නීති උල්ලංඝනය කර චීන සමාගම්වල අවශ්‍යතා වෙනුවෙන් ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ය. මෙය වැරදි පූර්වාදර්ශ ලබාදීමකි. පසුගිය ඉතිහාසය පුරා ම දක්නට ලැබුණේ දේශපාලන වුවමනාවන් මත බොහෝ සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම හේතුවෙන් ඒවා බිඳ වැටුණු අවස්ථාවන් ය. උමා ඔය, මත්තල ගුවන්තොටුපොළ, මාගම්පුර වරාය යන මේ සියල්ල ම දේශපාලන උවමනාවන් මත ක‍්‍රියාත්මක කර අසාර්ථක වූ ව්‍යාපෘතිය. මේ නිසා මාගම්පුර වරාය, චීන සමාගමකටත්, මත්තල ගුවන්තොටුපොළ ඉන්දියානු සමාගමකටත් දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම සිදුවිය. උමා ඔය ව්‍යාපෘතියේ තත්ත්වය ඉතා ම ඛේදජනකය. එසේ තිබිය දී නිවැරදි ශක්‍යතා ඇගයිම් මගින් හා පරිසර බලපෑම් තක්සේරු ක‍්‍රියාවලියක් මගින් මෙම ව්‍යාපෘතිය යථාර්ථවාදී තිරසර සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ක‍්‍රියාත්මක කළ හැකි ද, නැද්ද යන්න පිළිබඳ ව තීරණය කරනු වෙනුවට දේශපාලන උවමනාවන් හා බලපෑම් මත එම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට යාම නොකළ යුතු ය.

ව්‍යාපෘතියේ නීතිමය පසුබිම

ගිං – නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතිය දැනට ලංකාවේ ක‍්‍රියාත්මක අණ පනත් කිහිපයක් යටතට ඇතුළත් වේ. 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින 772/22 දරන ගැසට් නිවේදනයට අනුව ගංඟා ද්‍රෝණි සංවර්ධන හා වාරි ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම, හෙක්ටයාර එකකට වැඩි වනාන්තර ඉඩම් එළිපෙහෙළි කර වෙනත් සංවර්ධන ක‍්‍රියාවලීන් සඳහා යොදාගැනීම, සියලුම උමං කැණීම් ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම, වන සංරක්‍ෂණ ආඥා පනත හා ජාතික උරුම වන භූමි පනත යටතේ ප‍්‍රකාශිත රක්‍ෂිතයක මායිම් හෝ මායිමේසිට මීටර 100ක් ඇතුළත සීමාවේ යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීම සහ පාංශු සංරක්‍ෂණ පනත යටතේ ප‍්‍රකාශිතයම් භූමි ප‍්‍රදේශයක් තුළ යම් සංවර්ධන ව්‍යාපෘතියක්ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රථම පරිසර බලපෑම් ඇගයීම් ක‍්‍රියාවලියට යටත් ව පාරිසරික අනුමැතිය ලබාගත යුතු ය. එපමණක් නොව 2005 අංක 12 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1940 අංක 9 දරන පුරාවස්තු ආඥා පනතට අනුව ප‍්‍රකාශිත 2000 ඔක්තෝබර් 04 වන දින අංක 1152/14 දරන ගැසට් නිවේදනය අනුව ඉඩම් හා තෙත්බිම් ජලයෙන් යටකිරීම පිණිස හෙක්ටයාර 2ක් ඉක්මවා භූමි ප‍්‍රදේශ එළිකිරීමට ප‍්‍රථමයෙන් පුරාවිද්‍යාත්මක හානි ඇගයීමක් සිදුකර ඒ සඳහා පුරාවිද්‍යා අනුමැතිය ලබාගත යුතු ය.

මේ අයුරින් අණ පනත් ගණනාවකට යටත් වන ව්‍යාපෘතියක් දේශපාලන හෝ සමාගම්වල බලපෑම මත මෙම පියවරයන් උල්ලංඝනය කරමින් ක‍්‍රියාත්මක කළ නොහැකි ය. මෙම අණ පනත් උල්ලංඝනය කරමින් මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට බලපෑම් කිිරීමට කිසි`දු දේශපාලකයකුට අයිතියක් නැත. එසේ කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මුලික අයිතිවාසිකම් යටතේ දැක්වෙන 12 (1) උප ව්‍යවස්ථාවේ සඳහන් නීතිය පසිඳලීම හා නීතිය ක‍්‍රියාත්මක කිරීම ද, නීතිය රැකවරණය ද සර්ව සාධාරණ ව සිදු විය යුතු ය යන්න උල්ලංඝනය කිරීමකි. එපමණක් නොව එක්සත් ජාතීන්ගේ මණ්ඩලය විසින් සම්මත කරගත් මානව අයිතිවාසිකම් ප‍්‍රකාශනයේ 7 වන වගන්තිය අනුව නීතිය ඉදිරියේ සියල්ලෝ ම සමාන වෙතී යන්න උල්ලංඝනය කිරීමකි. දේශපාලන බලය මත හෝ චීන සමාගම්වල බලපෑම් මත පාරිසරික නීති උල්ලංඝනය කරමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු කිරීමට කිසිඳු හැකියාවක් නොමැත. මේ නිසා සාගල රත්නායක අමාත්‍යවරයාගේ බලපෑම මත හෝ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ බලපෑම මත මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට උත්සහ දැරීමෙන් සිදුවන්නේ විශාල හානියකි. මේ පිළිබඳ ව විශේෂ අවධානයක් යොමු කිරීම වැදගත් වේ.

මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මුලික අයිතිවාසිකම් බොහෝමයක් ජනයාට අහිමි වන බව පෙනීයයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (උ) හා (ඌ) උප ව්‍යවස්ථාවල සඳහන් පරිදි නීත්‍යානුකූල වෘත්තීයක, කර්මාන්තයක නිරතවීමේ අයිතිය හා අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ජනතාවට අහිමි කරනු ඇත. තේ හා කුඹුරු වගා කරමින් ජීවත් වූ ජනතාවට තම රැකියා හා වෘත්තිය පමණක් නොව අභිමත ස්ථානයක ජීවත් වීමේ අයිතිය ද මෙමගින් අහිමි කරමින් තිබේ.

මහජන විරෝධයේ අවශ්‍යතාව

මේ නිසා මෙම හානිකර ව්‍යාපෘතියට එරෙහි ව කටයුතු කිරීමේ යුතුකමක් සියලූම පුරවැසියන්ට ඇත. ගිං හා නිල්වලා ගංඟා ද්‍රොණිවල ජීවත්වන ජනතාවගේ ජල අයිතිය අහිමි කිිරීමට එරෙහිව කටයුතු කිරීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ම බලය අප සියලු දෙනාට ම ලබා දී ඇත. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මුලික යුතුකම් කොටසේ 28 (ඉ) උප ව්‍යවස්ථාවට අනුව සෙසු අයගේ අයිතිවාසිකම් හා නිදහස වෙනුවෙන් කටයුතු කිරීමට හැකි යාව ඇත. එම නිදහස හා අයිතීන් සංවර්ධනයේ නාමයෙන් චීන සමාගම් පෝෂණය කිරීම වෙනුවෙන් ජනයාට අහිමි කිරීමට රජයට හෝ ආණ්ඩුවට කිසිඳු බලයක් නොමැත. ජනතාව මේ පිළිබඳ අවබෝධ කරගැනීම ඉතා ම වැදගත් ය.

එපමණක් නොව මෙම විනාශකාරී හා මෙරට ඉඩම් ඇතුළු ස්වාභාවික සම්පත් ආයෝජනයේ නාමයෙන් සමාගම් සතු කරන විනාශකාරී සංවර්ධන මාවත වෙනුවට සියලුම ජනතාවගේ ස්වාභාවික සම්පත්වලට ඇති අයිතිය තහවුරු කරන සුළු පරිමාණ නිෂ්පාදකයින්ගේ ආර්ථිකය ගොඩ නංවන තිරසර සංවර්ධන මාවතක් රට තුළ ඇති කළ යුතු ය. ඒ තුළින් විදේශ ආයෝජන නාමයෙන් අපේ රටේ ස්වාභාවික සම්පත් ජනතාවට අහිමි කරන ක‍්‍රියාවලිය නතර කළ යුතු ය.

ඉඩම, ශ‍්‍රමය, ජලය ඇතුළු අප රටට හිමි සම්පත් විවෘත වෙළෙඳපොළේ කොන්දේසි විරහිතව විදේශීය සමාගම්වල ආයෝජන ක‍්‍රියාවලිය සඳහා ගොදුරු කිරීම වෙනුවට භෞතික, පාරිසරික, ආර්ථික හා සමාජීය සංවර්ධනය ඇති කරන සංවර්ධන ක‍්‍රමවේදයකට රට ගෙන යා යුතු ය. ඒ සඳහා ජනතාවාදී සංවර්ධන ක‍්‍රියාවලියක් ජනතාවගේ අවශ්‍යතාවන් මුලික කරගෙන ගොඩනැංවීම අවශ්‍ය ය. එසේ නොමැතිව චීන හෝ ඉන්දියානු හෝ සිංගප්පූරු සමාගම්වල උවමනාවන් වෙනුවෙන් ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම් මත මෙරට සංවර්ධන ව්‍යුහය ගොඩනැඟීමට යාමෙන් අප රටේ ජනතාව අයිතිවාසිකම් අහිමි සංවර්ධන අනාථයින් බවට පත්වීම වළක්වා ගත නොහැකිවනු ඇත. මේ තත්ත්වය නිවැරදි ව ජනතාව අවබෝධ කර ගෙන ඒ තත්ත්වය පිටුදැකීමට රජයට හා ආණ්ඩුවට බලපෑම් කිරීම කළ යුතුය.

සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය