Posted on 10.22.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ඉදිරියේදී ගෙනඒමට නියමිත නව ව්‍යවස්ථාව හරහා ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පිවිසීමට තිබෙන ඉඩකඩ සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට ජනාධිපතිවරයා පොරොන්දු වූ නිසා 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දීමට තීරණය කළ බව විමල් විරවංශ පවසා තිබේ.
අද උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලද සඳහන් කළේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවෙන් පසුව 20 ට සහාය දැක්වීමට තීරණය කළ බවයි. මෙම මාධ්‍ය හමුව සඳහා වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ යන අයද එක්වී සිට ඇත.
එසේම 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ආණ්ඩු පක්ෂය තුළ බෙදීමක් ඇති නොවන ආකාරයට කටයුතු කිරීමට වූ සාමූහික නිගමනයකට පැමිණි බව අමාත්‍ය විමල් වීරවංශ පවසා තිබේ.
ලබන වසර ඇතුළත ගෙනඑනු ලබන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදී ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවේ මෙන්ම විධායක මට්ටමේ වෙනත් තනතුරු දරන්නට ඇති අයිතිය අහිමිවන ආකාරයේ වගන්තියක් නිසැක වශයෙන්ම ඇතුළත් කරන බවට ජනාධිපතිවරයා ලබාදුන් පොරොන්දුව මත පදනම්ව මෙම තීරණයට එළැඹි බව විමල් වීරවංශ අමාත්‍යවරයා පැවසීය.
2021 වසරේදී සම්මත කිරීමට බලාපොරොත්තුවන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදී එම වගන්තිය ඇතුළත් කෙරෙන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුනි.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ මහතා, “වර්තමාන අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා මගින් පාර්ලිමේන්තුවේ කරන පිළිතුරුදීමේ කතාවේදී ඒ බව සනාථ කරමින් ප්‍රකාශයක් සිදුකරනවා. ඒ ගැන විශ්වාසය තියලා කරුණා කරලා මේ වෙලාවේ මෙම ව්‍යවස්ථා සංශෝධනයේදී බෙදීමත් ඇතිකර ගැනීමෙන් වළකින්න කියලා ජනාධිපතිතුමා සඳහන් කළා. ජනාධිපතිතුමා පිළිබඳ තියෙන විශ්වාසය මත අපි සාමූහිකව තීරණය කළා කාරක සභා අවස්ථාවේදී එම වගන්තිය සම්බන්ධ ඡන්ද විමසීමේදී නිශ්ක්‍රියව සිටීමට, පෙර ගනු ලැබූ තීරණ අවලංගු කරලා බෙදීමක් ඇති නොවන ආකාරයට කටයුතු කරන්න.” යනුවෙන් සඳහන් කළේය.
20 වැනි සංශෝධනයට ඇතුළත් ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයන්ට පාර්ලිමේන්තුවට පිවිසීමට ඉඩ සැලසීමට අදාල වගන්තිය ආණ්ඩුව නියෝජනය කරන පාර්ශ්ව කිහිපයකින් දැඩි විරෝධය එල්ල විය. එහිදී ඉදිරියෙන්ම සිටියේ විමල් වීරවංශ ප්‍රධාන ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම සහ පිවිතුරු හෙළ උරුමයේ උදය ගම්මන්පිලයි.
මෙම වගන්තියට විරෝධය දක්වන පක්ෂ නායකයන්, ජනාධිපතිවරයා විසින් විශේෂ සාකච්ඡාවක් සඳහා ඊයේ රාත්‍රී කැඳවා තිබිණි. ආණ්ඩුවේ පිරිස් සහය නොදක්වන්නේ නම් විපක්ෂයෙන් පිරිසකගේ සහාය මත හෝ 20 ජයග්‍රහණය කිරීමයි. විපක්ෂයෙන් පිරිසක් ආණ්ඩු පක්ෂයට එකතුවීම යනු දැනට සිටින පිරිසකට තම තනතුරු අහිමි වීමයි. ඒ අනුව අවසානයේ තම තනතුරු රැකගැනීම වෙනුවෙන් 20ට සහය පළ කිරීමට විමල් විරවංශ ඇතුලු පිරිස තීරණය කර ඇති බව අනුමාන කළ හැක්කකි.