Posted on 04.01.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පාර්ලිමේන්තුවේදී පළාත් සභා හා පළාත් පාලන වැය ශීර්ෂයට විරුද්ධව විපක්ෂය ඡන්දය පාවිච්චි කර එය පරාජය කිරීම හේතුවෙන් අප්‍රේල් මාසයෙන් පසු එම ආයතන පවත්වාගෙන යෑමට මුදල් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
පළාත් සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා පවත්වාගෙන යෑමට විපක්‍ෂයට සැබෑ උවමනාවක් නොමැති නිසා විපක්‍ෂය එය පරාජය කළ බවද ඔහු පවසයි.
හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයට පසුගියදා (30) වීරවිලදී මුල්ගල් තැබීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ බව පැවසීය.
මෙම වැය ශීර්ෂය පරාජයට පත් කිරීම නිසා පළාත් සභා හා පළාත් පාලනවලට මෙන්ම ආණ්ඩුකාරවරුන්ගේ කටයුතු සඳහා ද මුදල් නොමැති බව රනිල් වික්‍රමසිංහ පවසයි.
“පසුගිය 28 වැනිදා විපක්‍ෂයේ මන්ත්‍රීවරු පළාත් සභා හා පළාත් පාලන ආයතනවලට අයවැයෙන් මුදල් වෙන් කෙරෙන යෝජනාව පරාජයට පත් කළා. මේ නිසා එම ආයතනවලට ලබාදීමට සතයක්වත් ඉතුරු වී නැහැ. විපක්‍ෂය මේ ආයතන සඳහා මුදල් එපා කියනවා නම් ආණ්ඩුවට කරන්න දෙයක් නැහැ.කෙසේ වෙතත් ආණ්ඩුවට අවශ්‍ය ආයතනවලට ප්‍රාදේශීය ලේකම්වරු හරහා මුදල් ලබාදීමට අපි පියවර ගන්නවා. නමුත් අනෙක් ආයතනවලට හා ආණ්ඩුකාරවරුන්ට අප්‍රෙල් 30 වැනිදායින් පසු මුදල් ලබාදීමට හැකියාවක් නැති බව කිව යුතුයි.”