Posted on 01.19.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පරිසර විනාශයක් ගෙන දෙමින් ක්‍රියාත්මකවන බෝගහගොඩ Samson Reclaim Rubbers Ltd කම්හලේ සියලු කටයුතු නවතා දමන්නට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද(19) කොන්දේසි සහිත ආඥාවක් නිකුත්කර ඇත.
ඊයේ දින ප්‍රදේශවාසින් විසින් ගාල්ල අකුරැස්ස මාර්ගයේ කටයුතු අත්හිටුවමින් පැය 4ක් තිස්සේ ගෙන ගිය විරෝධතාව නිසා ඉහළ පොලිස් නිලධාරින්ගේ උපදෙස් මත ඔවුන් වෙත පැමිණි සහකාර පොලිස් අධිකාරි සතිෂ් ගමගේ, විරෝධතාව නවතා දමන ලෙසත් රබර් කම්හල සම්බන්ධ අධිකරණ කටයුතු ක්‍රියාත්මක කරන බවටත් පොරොන්දුවක් දුන් පසුව විරෝධතාව තාවකාලිකව අවසන් කරන ලදී.
ඒ අනුව, අද දින පොලිසිය විසින් බෝගහගොඩ පරිසර සංවිධානයේ, පාසල් දරුවන්ගේ මව්පියන්, පාසලේ විදුහල්පතිවරයා ඇතුළු අගතියට පත් පාර්ශ්වයේ නියෝජිතයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කරන ලදී. මෙම කරුණු ප්‍රධාන මහේස්ත්‍රාත් නිල නිවසට ගොස් වාර්තා කරමින් සහකාර පොලිස් අධිකාරිවරයා කම්හල වසා දමන්නට කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය. එහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ප්‍රසිර වල්ගම, සිසිර වීරසූරිය සහ අජිත් කුමාර යන නිතිඥවරු මහේස්ත්‍රාත්වරයා හමුවේ පෙනී සිටියහ.
කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ජනවාරි 21 දක්වා බලපැවැත්වෙන පරිදි කම්හලේ සියලු කටයුතු නවතා දමන ලෙස කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කළ අතර එදින මෙම ආරවුල සම්බන්ධයෙන් සිදු කරන නඩු කටයුත්තට සියලු පාර්ශ් සහභාගි වියයුතු බවටත් දැනුම් දෙන ලදී.
මේ වනවිට මෙම රබර් කම්හලෙන් නිකුත්වන දුම සහ දුර්ගන්ධය හේතුවෙන් කම්හලට යාබද දොරපෙ ද්විතීක විද්‍යාලය දින ගණනාවක් වසා දමා ඇත. අධ්‍යාපන බලධාරින් වසර ගනනක් මෙම විදුහල සම්බන්ධ ගැටලුවට මැදිහත් නොවූ අතර පරිසර බලධාරින් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙම නීති විරෝධි කම්හල සම්බන්ධ කිසිදු නීතිමය පියවරක් ගෙන නැත. එසේම ප්‍රාදේශීය මහලේකම් විසින්ද මේ දක්වා ප්‍රමාණවත් නෛතික ක්‍රියාමාර්ග නොගෙන මෙම ව්‍යසනකාරි කම්හලට සහයෝගය දක්වා ඇත.
එපමණක් නොව, මේ දක්වා මෙම විනාශකාරී ආයතනය ගැන සත්‍ය ජනතාවට හෙළි කිරීමට මෙරට විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය කටයුතු නොකරන්නේ DSI ආයතනයේ දැන්වීම්වලට ඇති ගිජු බව නිසාය. අධිකරණ ක්‍රියාමාර්ගය ගැනවත් නිසි වාර්තාකරණයක් නොකර සිටින්නට මෙරට සියලු ප්‍රධාන මාධ්‍ය අශුද්ධ සන්ධානයකට එළඹ ඇති බවක් දක්නට ලැබේ.
(සැ. යු. මෙම පුවත පළ කිරීමේදී රබර් කම්හලට අදාල ආයතනයේ ‘සැම්සන් ඉන්ටනැෂනල් පී.එල්.සී.’ යනුවෙන් සදහන් කෙරුනේ විරෝධයට ලක්ව ඇති සමාගමේ එම නාම පුවරුවද සවිකර ඇති නිසාය. එහෙත් සැම්සන් මව් සමාගමේ කළමනාකාරිත්වය විසින් අප වෙත දන්වා ඇත්තේ විරෝධයට ලක්ව ඇති Samson Reclaim Rubbers Ltd ආයතනය බැවින් එය නිවැරදි කරන ලෙසයි. අදාල නිවැරදි කිරීම සිදුකර ඇත)