Posted on 01.22.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කොවිඩ් මර්දන රාජකාරිවල නිරත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කරමින් ඔවුන්ගේ ඇඟ කෙල ගැසීමේ සිද්ධියට වරදකරු වූ අටලුගම ප්‍රදේශයේ පුද්ගලයාට වසර 06 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබේ. මීට අමතරව රුපියල් 10,000 ක දඩ මුදලක්ද නියම කර ඇත.
රජයේ නිලධාරියකුගේ රාජකාරියට බාධා කිරීම, සාපරාධී බලහත්කාරය පෑම, නිරෝධායන නීතියට අවනත නොවීම, රජයේ නිලධාරියකුගේ නියෝගයකට අවනත නොවීම යනාදී චෝදනා මත විත්තිකරුට එරෙහිව අදාළ නඩුව පවරා තිබුණි.
මෙම සිද්ධියට අදාළ නඩුව ඊයේ (21 වැනිදා) යළි කැඳවූ අවස්ථාවේ දී විත්තිකරු චෝදනාවලට වරද පිළිගැනීම මත මහෙස්ත්‍රාත්වරයා ඔහු වරදකරු කරමින් දඬුවම් නියම කර ඇත.
ඒ අනුව එක් චෝදනාවකට වසර දෙක බැගින් වසර 06 ක සිරදඬුවමක් හිමිව තිබේ.
අදාල සිද්ධියට මුහුණ පෑ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන්ට රුපියල් ලක්ෂ 04 ක වන්දි මුදලක් ගෙවන ලෙසද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. එම වන්දි මුදල නොගෙවන්නේ නම් සිරදඬුවම වසර 08 ක් දක්වා දීර්ඝ වන බවයි නඩු තීන්දුවේ සඳහන් වේ.
2020 දෙසැම්බර් 02 වැනිදා කොවිඩ් ආසාදිතයකුව සිටි විත්තිකරු රෝහල්ගත කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා අටුලුගම මාරුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස අසලට ගිය අවස්ථාවේ දී විත්තිකරු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බැණ වදිමින් කෙළ ගසා තිබූ බව මාධ්‍ය වාර්තා කර තිබුණි.