Posted on 06.08.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජිව් යසිරු කුරුවිටගේ මැතිව් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් යැයි කියාගන්නා කණ්ඩායමක් විසින් රැගෙන ගොස් ඇති බවත්, ඔහු රැගෙන යාමේදී එසේ රැගෙන යාමට හේතුව ඔහුට සහ පවුලේ පිරිසට ලබා දී නැති බවත් MediaLK වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
අගමැතිවරයාගේ වෙබ් අඩවියේ ඇති තාක්ෂණික දෝෂයක් නිසා සයිබර් ප්රහාරයක් එල්ල විය හැකි බවට ඔහු කළ සඳහනක් හේතුවෙන් මීට පෙර ද ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්රශ්න කර තිබිණි.අනතුරුව ඊයේ (07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් යැයි කියාගන්නා පිරිසක් සිවිල් ඇඳුමෙන් ඔහුගේ නිවසට ගොස් තමන් සමග යෑමට සූදානම් වන ලෙස දැනුම් දී තිබේ. එසේ රැගෙන යාමට හේතුව ඉදිරිපත් කර නැත.
රජිව් යසිරු රැගෙන යෑමට පැමිණි පොලිසියේ යැයි කියාගන්නා පිරිසෙන් ඔහු අත්අඩංගුවට ගන්නේ කුමන හේතුවකටදැයි විමසද්දී ඔවුන් කියා ඇත්තේ වට්ස්ඇප් සම්බන්ධයෙන් පළ කළ නිවේදනයක් හේතුවෙන් බවයි. අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ඇත්දැයි විමසද්දී වරෙන්තුවක් නැති බව එම පිරිස ප්රකාශ කර තිබේ.
රජිව් යසිරු අත්අඩංගුවට ගන්නේ කුමන චෝදනාවක් මත, කුමන නීතියක් කඩකිරීම සම්බන්ධයෙන්දැයි විමසීමේදී චෝදනාව ප්රකාශ කර නැති අදාළ පිරිස, ඔහුව රැගෙන ගොස් තිබේ. තමන් ප්රකාශයක් ලබාදීම සඳහා පැමිණීමට දිනයක් ලබාදෙන ලෙසත්, නීතීඥවරයෙකු සමඟ පැමිණීමට ඉඩදෙන ලෙසත් කළ ඉල්ලීම ප්රතික්ෂේප කරමින් මෙසේ ඔහු රැගෙන ගොස් ඇත.