Posted on 06.08.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ජනාධිපති කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුළු රජයේ ආයතන රැසක වෙබ් අඩවිවලට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි අන්තර්ජාලය ඔස්සේ ව්‍යාජ තොරතුරු පළ කළ නිසා බව පොලීසිය පවසයි.
රජීව් යසිරු තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපතිවරයා වශයෙන් සඳහන් කරමින් මෙම නිවේදනය සමාජ මාධ්‍ය ජාලාවල පළ කර තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසා තිබේ. ඔහු සඳහන් කරන ආකාරයට රජයේ ආයතන කිසිවකුටත් සයිබර් ප්‍රහාරයක් එල්ල වී නොමැති බවත් මේ අනුව සමාජ මාධ්‍ය ජාලාවල අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු අත්අඩංගුවට ගත් බව ද අජිත් රෝහණ සඳහන් කර තිබේ.
රජීව් යසිරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද පොලිසිය පවසා ඇත.
එහෙත් ඊයේ දින රජීව් යසිරු අත්අඩංගුවට ගැනීමට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බව නම් සඳහන් නිලධාරීන් ඔහුට විරුද්ධව ඇති චෝදනාව සඳහන් කර නොමැති බව වාර්තා විය. ඔවුන් සඳහන් කර තිබුණේ තොරතුරු තාක්ෂණ සංගමය නිකුත්කළ වට්ස් ඇප් සම්බන්ධ නිවේදනයක් හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරන බවයි.
නමුත් ඔහුට විරුද්ධ චෝදනා මොනවාද යන්න එහිදී සඳහන් කර නොතිබුණි.