Posted on 06.16.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය (TID) මගින් වසරක කාලයක් රඳවාගෙන සිටි අහ්නෆ් ජසීම් කවියා ඔහුගේ නීතිඥයන්ට දැන්වීමකින් තොරව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ රිමාන්ඩ් කර ඇතැයි නීතිඥ සංජය විල්සන් ජයසේකර පවසයි.
ඔහු අධිකරණයට ඉදිරිපත් කරන බවක් පවුලේ ඥාතීන්ට හෝ ඔහුගේ නීතිඥවරයා වශයෙන් තමන්ට හෝ දැනුම් නොදුන් බවත්, එහෙයින් ඔහු වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වීමට තිබූ අවස්ථාව අහිමිවී ගිය බවත් නීතිඥවරයා ප්‍රකාශ කර තිබේ.
2020 මැයි 16 වැනිදා ත්‍රස්තවාදය වැළැක්වීමේ කොට්ඨාසය විසින් අහ්නෆ් ජසීම් කවියා අත්අඩංගුවට ගනු ලැබීය. එතැන් පටන් වසරක කාලයක් රඳවා තබාගෙන සිටි ඔහු පසුගිය මැයි 12 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබේ.
සේව්ද පර්ල් නම් ආයතනයට අයත් බව කියන පුත්තලමේ ස්ථානයක තිබී ‘නවරසම්’ නම් කවි පොත් දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සොයාගෙන තිබුණු අතර එම කවි පොතේ රචකයා වූයේ අහනෆ් ජසීම් වේ. එය අන්තවාදය පතුරුවන පොතක් බව කියමින් මන්නාරමේ පදිංචි මෙම කවියා අත්අඩංගුවට ගනු ලැබීය.
එම පොත අන්තවාදී පොතක් නොවන බව ජ්‍යෙෂ්ඨ සාහිත්‍යවේදීන් සහ විචාරකයන් විසින් කරුණු සහිතව අවධාරණය කර තිබිණි. පසුව දැනට අත්අඩංගුවේ පසුවන නීතිඥ හිජාස් හිස්බුල්ලාට එරෙහිව සාක්ෂි ලබා දෙන ලෙස අහ්නෆ් ජසීම්ට බලකර තිබුණු බව වාර්තා විය.
පසුගිය 12වැනිදා අහ්නෆ් ජසීම් අධිකරණයට ඉදිරිපත් කිරීම ඔහු වෙනුවෙන් නීතිඥවරයෙක් ඉදිරිපත් වීම් වළක්වන්න සැලසුම් සහගතව සිදුකරන ලද්දක් බව නීතිඥ සංජය විල්සන් පවසා තිබේ.