Posted on 05.22.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ආණ්ඩුවේ අනුග්‍රහයෙන් සිදුවන වන සංහාරය හෙලි කිරීම හේතුවෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් රාජ්‍ය නිලධාරියා ඇප මත නිදහස්කර ඇත.
ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ කොත්මලේ කාර්යාලයේ සේවය කළ සහකාර කොමසාරිස් චමිල ඉන්දික ජයසිංහ ගෙලිඔය ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇත්තේ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර ගෙනගිය බවට චෝදනා කරමිනි.
ඌව-පරණගම හිටපු පදේශීය ලේකම්, ඉඩම් අමත්යාංශය් මාණ්ඩලික නිලධාරි වැනි තනතුරු දැරූ මෙම නිලධාරියා වන විනාශයට මෙන්ම ප්‍රාදේශීය දේශපාලන බලවතුන්ගේ අක්රමිකතාවන්ට අවස්ථාව නොදී කටයුතු කිරීම නිසා බලවතුන්ගේ උදහසට ලක්වූවකු බවද කියනු ලැබේ.
මෙරට ප්‍රධාන පෙළේ වනාන්තර හෙළි පෙහෙළි කරන බව සඳහන් කරමින් ඔහු ෆේස්බුක් ගිනුම මගින් පළකර තිබුණු ඡායාරූප ව්‍යාජ ඡායාරූප බවද ඒවා පළකර ඔහු විසින් සාවද්‍ය ප්‍රචාර සිදු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු අනාවරණය කරගෙන ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පසුගියදා මාධ්‍ය වෙත පැවසීය.
කෙසේවෙතත් පසුගිය කාලයේ වනාන්තර විනාශයට අනුබල දෙමින් රජය විසින් දිගින් දිගටම නීථිමය ලිහිල් කිරීම්, පනත් සංශෝධන ආදිය සිදුකළ අතර සිංහරාජ, නකල්ස්, යාල, විල්පත්තුව, සෝමාවතිය, මාදුරුඔය ඇතුලු ප්‍රකට ස්වභාවික වනාන්තරවල වන විනාශය සම්බන්ධ දේශපාලන බලවතුන්ගේ මැදිහත්වීම හා වයාපාරික අරමුණු අනාවරණය කෙරිණි.
ආණ්ඩුවේ අරමුණ ව්‍යාපාරික කටයුතු සඳහා විශාල පරිමාණයෙන් ඉඩම් නිදහස් කිරීමට ආණ්ඩුව පියවර ගන්නා බව චෝදනා එල්ල වූ අතර 2019 ජනාධිපතිවරණයෙන් පසුව මෙන්ම 2020 අගෝස්තු මහමැතිවරණයෙන් පසු ගෙන ගිය තීරණ ගැනීම් ඔස්සේ ඒ බව සනාථ විය.