Posted on 04.23.2021 by Chandana Sirimalwatte in ප්‍රධාන පුවත් පෙළ with 0 Comments
(TopNews) වරාය නගර ආර්ථික කොමිෂන් පනත සම්මත කිරීමේදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන්නැයිද ඉල්ලමින් ඉදිරිපත් කොට පෙත්සම් සම්බන්ධ තීන්දුව කතානායකවරයාට දැනුම් දෙන බව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේය.
අදාළ පනත් කෙටුම්පත ප්‍රකාශයට පත් වීමෙන් පසුව ඒ මඟින් ලාංකික ජනතාවගේ මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වන බවට චෝදනා කරමින් එසේම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්ති මෙරට ආර්ථිකයට මෙන්ම ජාතික ආරක්ෂාවට ද බරපතළ තර්ජනයක් බවද පෙන්වා දෙමින් ඉදිරිපත් කොට තිබු මෙම පෙත්සම් දින 05 ක කාලයක් පුරා විභාගයට ගනු ලැබිණි. අද(23) දින පෙත්සම් විභාගය අවසන් කරමින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එලෙස දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා නීතීඥ සංගමය , එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිිමේන්තු මන්ත්රවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර , හර්ෂණ රාජකරුණා, ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ , ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස්, එහි ලේකම් නීතීඥ රජීව් අමරසූරිය,තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති ජී .කමල් රේණුක පෙරේරා, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු, ලෙස්ලි දේවේන්ද්‍ර, ජී.එස්.ශ්‍යාමලී, ශ්‍රී ලංකා පුරවැසි බලය සංවිධානයේ කැදවුම්කරු ගාමිණී වියන්ගොඩ , පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්, රජික කොඩිතුවක්කු, ආචාර්ය අජන්තා පෙරේරා, බන්දුල චන්ද්‍රසේකර, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්, නාගානන්ද කොඩිතුවක්කු, රවීනා ගයේන් ද සිල්වා විසින් මෙම පෙත්සම් ගොනු කර තිබිණි.