தமிழ்
English
Contact
Monday 6th May 2019    
විදේශ තානාපතිවරු රනිල් වික්‍රමසිංහ හමු වේ ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විදේශ තානාපතිවරු රනිල් වික්‍රමසිංහ හමු වේ !



බටහිර රාජ්‍යයන් ඇතුළු ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික සබදතා ඇති රටවල් කිහිපයක තානාපතිවරු පිරිසක් අද (27) පස්වරුවේ අරලියගහ මන්දිරයට පැමිණ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.

මෙහිදී අමෙරිකා එක්සත් ජනපදය, ජර්මනිය, දකුණු අප්‍රිකාව සහ යුරෝපා රටවල් කිහිපයක තානාපති නිලධාරින් එ.ජා.ප. නායකයා සමග සාකච්ඡාවට එක්ව සිටි අතර තවත් තානාපති කාර්යාල රැසක් ලංකාවේ දේශපාලන තත්වය පිළිබද අවධානය යොමුකරන බව නිවේදනය කර ඇත. ලංකාවේ ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන ලෙසත්, ගැටුම්වලින් වැලකි සිටින ලෙසත් අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණූ සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාලය විසින් ලංකාවේ සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කර තිබේ.

මේ අතර ලංකාවේ දේශපාලන තත්වය පිළිබද ඉන්දිය රජයේ අවධානය යොමුව ඇත. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙසත් සමීප අසල්වැසියකු ලෙසත් ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වලට සහ ව්‍යවස්ථා ක්‍රමවේදයට ගෞරව කරනු ඇතැයි ඉන්දියාව බලාපොරොත්තු වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල ප්‍රකාශක රවීෂ් කුමාර් පවසයි. ලංකාවේ සිදු වෙමින් තිබෙන දේශපාලන තත්වය පිළිබඳ ඉන්දීය මාධ්‍යවේදීන් කරන ලද විමසීමකට පිළිතුරු දෙමින් ඔහු ඒ බව සඳහන් කර තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් කළ ආරාධනාවකට මහින්ද රාජපක්ෂ අගමැතිධුරයේ දිවුරුම්දීමෙන් පසුව ඉන්දියාව ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පළමු අවස්ථාව මෙයයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියා මෙසේද පවසා ඇත.

“ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් ඉන්දියාව විමසිල්ලෙන් සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙසත් සමීප අසල්වැසි හා මිත්‍ර රටක් ලෙසත් ශ්‍රී ලංකාව  ප්‍රජාතන්ත්‍රවාදී අගනාකම්වලට සහ ව්‍යවස්ථා ක්‍රමවේදයට ගරු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ මිත්‍ර ජනතාවට අපි අඛණ්ඩව අපේ සංවර්ධන සහාය දෙනවා”